දෙවන පෑතිස් රජු දවස ලංකාවේ ආරම්භ වූ භික්ෂූණී සමාජය ඒ රජතුමන් දවසම සීග්‍ර දියුණුවක් ලැබීය. එහෙත් උත්තිය රජුගේ රාජ්‍යොදයෙන් නව වන වසරේදී සංඝමිත්තා තෙරණියන්ගේ පරිනිර්වාණයත් සමග එහි පරිහානියක් දක්නට ලැබෙයි. එයින් පසුව දුටු ගැමුණු රාජ්‍ය කාලය දක්වා ලංකාවේ මෙහෙණ් සස්න පිළිබඳ ඉතිහාසය නිහඬය. නැවතත් දුටුගැමුණු රාජ්‍ය යුගයේදී ලක්දිව භික්ෂුණි සමාජයේ නවෝදයක් ඇති විය. දීපවංසයෙහි සඳහන් වන අන්දමට, මහිලා, සමන්තා, ගිරිකාලී, දාසී සහ කාලී යන සුප්‍රකට භික්ෂුණීන් පස් නමක් රුහුණේ සිට අනුරාධපුරයට පැමිණ විනය ඉගැන්වූහ. එයින් මහිලා සහ සමන්තා කාවන්තිස්ස රජුගේ දියණියන් වූවාමෙන්ම දුටුගැමුණු රජුගේ සොහොයුරියෝ ද වූහ. ගිරිකාලී කාවන්තිස්ස රජුගේ පුරෝහිතයාගේ දුවණියයි. දාසි හා කාලි යන දෙදෙනා සිල්වත්වූ මෙහෙණියන් වුවද, නරක චරිතයක් ඇති පියෙකුගේ දියණියන් බවද එහි සඳහන් වෙයි. මේ අවධියේ භික්ෂුණි සමාජයේ දියුණුව පැවති බවට තවත් සාධක ඇත. දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරවන ලද මිරිසවැටි විහාරය පූජා කරන උත්සවයට භික්ෂුණීන් අනූ දහසක් පැමිණි බව මහාවංසය කියයි. රුවන්වැලි සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවයේදී දඹදිවින් වැඩම වූ පියදස්සී නම් රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අසා රහත් වූවන් අතර, භික්ෂුණීහු දහ හතර දහසක් වූ බව මහාවංසයේ සඳහන් වෙයි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා වැනි පඬිවරුන් සඳහන් කරන අන්දමට දීප වංසය භික්ෂුණීන්ගේම වංස කථාවක් යයි කීමට තරම් තොරතුරු ඇත. එහෙත් භික්ෂුණීන් ගැන එහි සඳහන් තොරතුරු අවුල් සහිතය. දීප වංසයේ දහ අටවන පරිච්ජේදයෙහි එවැනි ව්‍යාකූල තොරතුරු, දක්නා ලැබෙයි. රූප සෞන්දර්යයෙන් අගතැන්පත් වූ නාගා, නාගමිත්තා, ධර්ම ගුප්තා යන භික්ෂුණීන් විනය වාදින්ගේ ශ්‍රේෂ්ඨ වූ මාලා, ඛේමා යන මෙහෙණින් හා ධම්ම කථීක භික්ෂුණීන් අතර තිස්සා මෙහෙණිය ගැනද දීප වංසයේ දහ අට වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. මේ අනුව වංස කථාවන්හි සඳහන් තොරතුරු වලින් පෙනී යන්නේ, ලංකා භික්ෂුණී සමාජයේ ස්වර්ණමය කාලපරිච්ඡේදය දුටුගැමුණු රාජ්‍ය යුගය බවයි. එහෙත් එතුමාගේ සොහොයුරු වූ සද්ධාතිස්ස රජතුමන්ගේ යුගයෙහිදී භික්ෂුණීන් උදෙසා කරන ලද විශේෂ පූජාආදියක් ගැන සඳහන් නොවේ. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුතුවූ ලජ්ජි තිස්ස ( බු.ව. 425-424) රජතුමි හාල් සහ අන්‍යවූ අවශ්‍ය දෑ භික්ෂූන්ට දුන් බව මහා වංසයේ සඳහන් වෙයි. පාලි රසවාහිනිය, සිහලවත්ථුප්පකරණය, විශුද්ධිමාර්ගය හා වෙනත් පැරණි අටුවාවලද මේ අවධියේ භික්ෂුණීන් පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. එම තොරතුරු ඇසුරෙන් එකල භික්ෂුණීන් තුළ පැවති සිල්වත් බව මෙන්ම දුර්ගුණද දත හැකිය. රසවාහිණියේ සඳහන් සිද්ධියක් මෙසේය. ලංකාවේ කම්පුවගම භික්ෂුණීන් දෙදෙනකු ගගේ දිය නෑමට ගිය විට එක් තෙරණියක කිඹුලකු විසින් ඇදගෙන යන ලදී. දෙවැනි මෙහෙණිය එවිට කෑගැසුවාය. ඒ හඬ අසා අසල උන් මිනිසෙක් පිහියක් ඇද ගෙන දියට පැන කිඹුලා මැරීමට භික්ෂුණිය දෙසට පිහිනීය. “මා ළඟට නො එවයි භික්ෂුණිය කිඹුලා ඩැහැගෙන සිටියදීම කෑගැසුවාය. කිඹුලා භික්ෂුණියගේ සීලය නිසා අත්හැර ගියේය. තුවාල ලද භික්ෂුණිය පුරුෂයන් විසින් ඔසවාගෙන යනු අකමැතිව අහසට නැඟී ගියාය. සිතුල් පව්වේ විසූ තරුණ භික්ෂුණියක්, රූමත් දොරටුපාල රූපයක් දුටුවාය. එයින් ඇගේ රාගය පුබුදු විය. රාගය උත්සන්න වී ඇය එතනම මිය ගිය පුවතක් සුමංගල විලාසිනී අටුවාවේ සඳහන් වෙයි. භික්ෂූන් මිහිරි ලෙස ධර්මය සජ්ඣායනා කරන විට භික්ෂුණීන් ළඟින් ඉඳගෙන ඊට සවන්දුන් බව මජඣිම නිකාය අටුවාවේ සඳහන් වෙයි. ලෙන්වල භික්ෂුණින් ගැන සඳහන් වන අතර ඇතැම් ලෙන් භික්ෂූන්ට පුද ඇත්තේද භික්ෂුණීන් විසින්ය. වෙස්ස ගිරි අංක 12 ලිපියේ එවැනි සටහනක් එයි.
“යහශිනි(ශමනී) ය ලෙනෙ
අගත අනගත චතුදිශ ශාගශ”.
(යහශිනී භික්ෂුණියගේ ලෙන පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පුදන ලදී.)
“යහශිනි(ශමනී) ය ලෙනෙ
අගත අනගත චතුදිශ ශාගශ”.
(යහශිනී භික්ෂුණියගේ ලෙන පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පුදන ලදී.)